'ශ්‍රී ලංකාව හා මියන්මාරය කියන්නේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයන්' - ආචාර්ය මාවුන්ග් සාර්නි


සැප්තැම්බර් 17 වැනිදා මියන්මාර් ජාතික පුවත්පතක මුල පිටුවේ 'රාජ්‍යයේ සතුරෙක්' පිළිබඳ දැවැන්ත සිරස්තලයක් පළ විය. ඊට යටින් පිටුවක් පුරා මාවුන්ග් සාර්නිගේ සේයා රූ පළව තිබිණ. ඉක්බිති එළඹි සතියේ වෛරී පුවත් තවදුරටත් පිටු පුරා පැතිරිණ.
'මේ ප්‍රකාශන හැම එකක්ම ආණ්ඩුවේ සහචර පිරිසක් හමුදාවේ ප්‍රචාරක ඒකකයත්, වර්ගවාදී භික්‍ෂූන් හා ගිහි බලවේගත් එක්ක එකතු වෙලා පවත්වාගෙන යන ඒවායි", සාර්නි කියයි.
මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ඉපිද, හැදී වැඩී, උගෙන මේ වනවිට බ්‍රිතාන්‍යයේ පිටුවහල් දිවියක් ගෙවන මාවුන්ග් සාර්නි, බුදු දහමින් පිටුබල ලද විද්‍යාර්ථියෙකු හා මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස තිස් වසක් තිස්සේ ක්‍රියාකාරී වැඩකොටසක් ඉටුකරයි. මියන්මාර් හමුදා පාලනයට එරෙහි පුරෝගාමී කාර්යභාරයක් අන්තර් ජාතිකව ඉටුකළ 'නිදහස් බුරුම සන්ධානයේ' සමාරම්භකයෙකු වන හෙතෙම,  රොහින්ග්‍යා මුස්ලිම් ජනයා ඉලක්ක කොට වර්තමානයේ දියත්ව ඇති සංහාරක පිළිවෙතට එරෙහිව සම්මුති විරහිත සටනක නිරතව සිටියි. 'රාජ්‍යයේ සතුරෙකු' සහ 'ජාති ද්‍රෝහියෙකු' ලෙස ඔහු නම් කිරීමට මියන්මාරය කටයුතු කර ඇත්තේ ඒ හෙයිනි.
'මම බෞද්ධයෙක්. නමුත් ලෝකයේ වෙනත් ප්‍රගතිශීලී චින්තන සම්ප්‍රදායයන් හා දේශපාලන ධාරාවන්ගෙන් මම ලබන පිටුබලය අති විශාලයි. යහපත් සහ මානුෂීය ගතිගුණ පිරිපුන් මගේ දෙමව්පියන් හා ගුරුවරුන් මගේ ක්‍රියාකාරීත්වයන්ට අනුබල සපයන ප්‍රධාන ශක්තියයි. කාරුණික, සත්‍යවාදී හා අයුක්තීන්ට සංවේදී විය හැකි පූර්ණ මනුෂ්‍යයෙකු වන්නේ කොහොමද කියා මට ඉගැන්නුවේ ඔවුන් විසිනුයි" ඔහු අවලෝකනාත්මකව කියයි.
"මම කිසිම විදියකින් විශේෂ පුද්ගලයෙක් නෙවෙයි.  මම උත්සාහ දරන්නේ මගේ වටිනාකම් සහ විශ්ලේෂණයන් ජීවමාන කිරීමට පමණයි", සාර්නි අවධාරණය කරයි. 
2013 දෙසැම්බරයේ ජර්මනියේදී මුලුදුන් ශ්‍රී ලංකාව පිළිබඳ නිත්‍ය මහජන විනිශ්චය සභාවේ විනිසුරු මණ්ඩල සාමාජිකයෙකු වූ ඔහු, පසුගිය මාසයේදී මියන්මාරය පිළිබඳ නිත්‍ය මහජන විනිශ්චය සභා සැසියක් සංවිධානය කිරීමට පුරෝගාමී විය.
රොහින්ග්‍යා මුස්ලිම් ජනයා ඉලක්ක කොටගත් සිංහල බෞද්ධ වර්ගවාදයේ චෞර ඝෝෂානැගෙන සමයක, ආචාර්ය මාවුන්ග් සාර්නි ජේඩීඑස් හා සාකච්ඡාවකට එක්විය.
සංවාද සටහන: භාෂණ අබේවර්ධන | පරිවර්තනය: අජිත් සී. හේරත්
යන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහිව සිදුකෙරෙන අපරාධ ගැන වර්ධනය වෙන ජාත්‍යන්තර විරෝධයක් මෑත කාලීනව දකින්නට ලැබුණා. නමුත් රොහින්ග්‍යා ජනයාට එරෙහි වෙනස් ලෙස සැළකීමේ පිළිවෙත් සෑහෙන කාලයක ඉඳන්ම ක්‍රියාත්මකයි. ඇයි මේ හදිසි හෙළාදැකීම්?
ආචාර්ය මාවුන්ග් සාර්නි: ඔව්, බුරුමය තුළ ජන සංහාරක ප්‍රතිපත්තිය  මුලින්ම ක්‍රියාවට නැංවීම ආරම්භ වූයේ 1966 තරම් ඉහතදීයි.  ඒ ජෙනරාල් නේ වින් විසින් බුරුමයේ ඉතා බලගතු පාලක  ආයතනය වන (බුරුම බසින් “තත්මාදෝ“ නමින් හැඳින්වෙන) හමුදාව තුළ සිදු කරන ලද රැඩිකල් වෙනස්කම්වලින්  අනතුරුවයි. පළමුවෙන්ම, බුරුම මිලිටරිය විසින් 1964 දී දියත් කළ  රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය හරහා ඉන්දීය උපමහාද්වීපික සම්භවයක් සහිත සියලු ආගම්වලට අයත් ජනතාව 300,000ක් පමණ රටින් පලවා හැරීම  සිදු කරනු ලැබුවා. උගන්ඩාව ඉඩඅමීන්ගේ පාලන කාලයේදී ඉන්දියානු සම්භවයක් සහිත උගන්ඩා වැසියන් පළවාහැරීමේ දී ආභාෂය ලබන්නට ඇත්තේ නේ වින් ගේ මෙම පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිය තුළින් ඉගෙනගෙන වෙන්නත් පුළුවන්. දෙවනුව, ජෙනරාල්වරුන් විසින් හමුදාව තුළ  මුස්ලිම්වරුන් ඉවත් කිරීමේ ප්‍රතිපත්තියක් නිහඬවම දියත් කරනු ලැබුවා. අනතුරුව බුරුම හමුදාව විසින්  බුරුමයේ පාකිස්ථාන දේශසීමාවට යාබදව (එවකට පාකිස්ථානයට අයත් වූ මෙම දේශ සීමාව 1971 සිට අයත්වන්නේ  වර්තමාන බංග්ලාදේශයටයි) සිය පාරම්පරික වාසභූමියක වාසය කළ, සුවිශේෂි අනන්‍යතාවක් සහිත එකම මුස්ලිම් ප්‍රජාව වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ව බෞද්ධ ආධිපත්‍යයක් සහිත බුරුමයේ “මුස්ලිම් ජන විකාස තර්ජනයක්" ලෙස නම් කළා. මේ තීරණය  ඊට දශකයකට කලින් රොහින්ග්‍යා ජනයා පූර්ණ පුරවැසි අයිතීන් සහිත අනුකලනය වූ ප්‍රජාවක් බවට නිල වශයෙන් පිළිගනිමින් බුරුම හමුදාව විසින් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ ප්‍රතිපත්තීන් ඔවුන් විසින්ම ආපසු හැරවීමක්. මේ රොහින්ග්‍යා විරෝධී ප්‍රතිපත්ති දියත් කළේ රොහින්ග්‍යානුවන් බහුතරයක් වෙසෙන උතුරු රඛයින් ප්‍රදේශයට බෞද්ධ ජනගහණය යොමු කිරීමේ සැළැස්මක් මගින්  එහි ජනවාර්ගික සංයුතිය වෙනස් කිරීම අරමුණු කොටගෙනයි.
ජනගහණය මාරුකිරීමේ උපායමාර්ගය අසාර්ථක වූ විට හමුදාව සිය පළමු මහා පරිමාණ සැළසුම් සහගත භීෂණ ව්‍යාපාරය 1978 දී දියත් කළා.  ඒ “ නීති විරෝධී සංක්‍රමණ මර්දනය කිරීමේ“ සටන්පාඨයට මුවා වෙමින්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාස කීපයක් තුළ රොහින්ග්‍යානුවන් තුන් ලක්ෂයක් පමණ රටින් පලා ගියා. මෙය ඒ වකවානුවේදී රොහින්ග්‍යා ජනගහණයෙන් දෙකෙන් පංගුවක් විතර අයත් වන  සංඛ්‍යාවක්. 
එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම, ඉස්ලාමික සම්මේලනය සහ එක්සත් ජනපදය මේ තත්ත්වය ඒ කාලයේත් දැනගෙන සිටියා.  “ජනවාර්ගික පවිත්‍රකරණයේ“ ඊළඟ රැල්ල දියත් වුනේ 1991-92 කාලයේදීයි. නැවතත් පෙර පරිදිම බංග්ලාදේශයට ලක්ෂ ගණනක් ජනතාව පලා ගියා.මෙවර මේ සාමුහික පළායාමට හේතු වූයේ පැතිරුණු සහ ආයතනගත ලෙස සිදුවුණ හිංසක අපයෝජන ක්‍රියාදාමයන්. බලහත්කාරී ශ්‍රම සූරාකෑම්, ගමන් බිමන් යාමේ නිදහස දැඩි ලෙස සීමා කිරීම්, විවාහ තහනම් කිරීම්, උපදින දරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කර ඔවුන් නීති විරෝධී පුද්ගලයන් බවට පත්කිරීම්, ඉඩම් මංකොල්ලය, සමූල ඝාතන, ලිංගික අතවර, දෛනිකව සිදුකරන මානසික සහ කායික අපයෝජන, නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් ආදිය මෙම දිග ලැයිස්තුවට ඇතුළත්. 
මියන්මාරයේ මානව අයිතීන් පිළිබද  තත්ත්වය සොයා බැලීමට 1993 දී එක්සත් ජාතීන් විසින් විශේෂ නියෝජිතයෙකු පත් කළේ මෙම අසීමාන්තික මානව අයිතීන් උල්ලංඝනයන් පිළිබඳ වාර්තා නිසායි.  
ඒ අනුව, එක්සත් ජාතීන් සහ බලගතු රටවල් හොඳාකාරවම දැන සිටියා හමුදා නායකත්වය විසින් රොහින්ග්‍යා මුස්ලිම්වරුනට සිදු කරන අපරාධ සම්බන්ධව. නමුත් සීතල යුද්ධ සමයේ බටහිර රටවල් බුරුමය දුටුවේ සිය කොමියුනිස්ට් විරෝධී  කඳවුරේ සගයෙකු ලෙසයි. පශ්චාත්  සීතල යුද සමයේ බටහිර ප්‍රමුඛත්වය දුන්නේ සූ චී යටතේ වූ  ප්‍රධාන ප්‍රවාහයේ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ගැන මිසක් බුරුම හමුදා පාලනය විසින් සිදු කරන “ ජනවර්ග පවිත්‍රකරණය" ගැන නොවේ. 
රොහින්ග්‍යාවරුන්ට එරෙහි තුන්වන ප්‍රචණ්ඩ රැල්ල දියත් වන විට එයට වාර්ගික මානයක් තිබුණා.  හිටපු ජෙනරාල්වරයෙකු වූ ජනාධිපති තෙයී සෙයින්ගේ අර්ධ සිවිල් “ප්‍රතිසංස්කරණවාදී“ ආණ්ඩුව සහ 'ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප්' වගේ එහි සහචරයන් විසින් රොහින්ග්‍යාවරුනට එරෙහි ව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රාදේශීය බෞද්ධ - මුස්ලිම් ගැටුමක ප්‍රතිඵල විදියට නිර්වචනය කරන්න ක්‍රියාකළේ සිදු වූ මරණ සහ විනාශයෙන් 86%ක්ම රොහින්ග්‍යා ජනයාට අත්ව තිබියදීයි. යුගොස්ලාවියාව බෙදී වෙන්වුණා වගේ වගේ සංක්‍රාන්තික සමාජයන් තුළ මෙවැනි දෑ අනපේක්‍ෂිත දේවල් නොවන බවයි ඔවුන් හැඟෙව්වේ.
නමුත් මේ පාර තත්ත්වයේ රැඩිකල් වෙනසක් තියෙනවා. ලක්ෂ පහක් පමණ රොහින්ග්‍යාවරුන් සති පහක් තුළ පලා ගියා. ඔවුන් විසින්ම මේ සිදුවීම් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවී ව  විකාශ කළා. ලෝක හෘදය සාක්ෂියේ සුළු වශයෙන් හෝ  කැළැඹීමට එය සමත් වුණා. බයිබල් පුරාවෘත්තයන්ගේ කියැවෙන ආකාරයේ වාර්ගික සමූල ඝාතන සහ ගිනිබත් කිරීම් මගින් සිදු කරන ලද, සමාජ මාධ්‍ය යුගයේ පළමු  මහා මානව නිෂ්ක්‍රමණයක් රොහින්ග්‍යාවරුන්ගේ පාලායම හමුවේ ලෝකයා අත්දැක්කා.
මියන්මාරයේ සිදුවන අපරාධ නෛතික වශයෙන් කවරාකාරයකින් හැදින්වුණත් මම හිතනවා රාජ්‍යයක මෙම ආකාරයේ හැසිරීම් ගැන අවංක අවධානයක් දැන් යොමු වෙලා තියෙනවා කියලා.  
අලුත්ම මිලිටරි මර්දන වටය හමුවේ රොහින්ග්‍යා මුස්ලිම් ජනයා අඩ මිලියනයක් අසල්වැසි බංග්ලාදේශයට පලාගොස් ඇති බව එක්සත් ජාතීන් විසින් තහවුරු කර තිබෙන අතර චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයන්ට අනුව අඩුම වශයෙන් රොහින්ග්‍යා මුස්ලිම් ගම්මාන 200ක් ගිනිබත් කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් වගකීම ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති මියන්මාර රජය එහි වගකීම ගැන චෝදනා එල්ල කරන්නේ රොහින්ග්‍යා සටන්කාමීන්ටයි. ඇත්තෙන්ම රඛයින් ප්‍රාන්තයේ සිද්ධ වෙමින් තියෙන්නේ මොකක්ද?
සාර්නි: මම ඉහතදී කිව්වා වගේ, මියන්මාර් රජය එය මීට පෙර යොදාගත් “ ජාතිභේදවාදී ප්‍රචණ්ඩත්වය“ යන ව්‍යාජ හේතුව අත්හැර දමා විවෘතවම වර්ග සංහාරක මට්ටමේ හිංසන ක්‍රියාදාමයකට මෙවර සම්බන්ධ වුණා. ඔවුන්ගේ වර්ග සංහාරක චේතනාව පැහැදිලිවම ඔප්පු කළ හැකියි. පහසුවෙන් එසේ කිරීම සඳහා නිදහසට කාරණයක් විදියට “රොහින්ග්‍යා ත්‍රස්තවාදය“ නැමැති පාඨය ඔවුන් යොදගන්නවා. මියන්මාරයේ මේ ත්‍රස්තවාදය යනුවෙන් හඳුන්වන්නේ දශක ගණනාවක් තිස්සේ රොහින්ග්‍යා ප්‍රජාව සහ ඔවුන්ගේ ජීවිත විනාශ කිරීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන අමානුෂික තත්ත්වයන්ට එරෙහිව ඉතා ප්‍රාථමික - කඩු, හෙලි, මුගුරු වැනි ආයුධ මෙන්ම ඔවුන් විසින්ම තනාගත් බෝම්බ සහ තුවක්කු වැනි - ආයුධවලින් සන්නද්ධව අපේක්ෂා භංගත්වයට සහ කෝපයට පත් රොහින්ග්‍යාවරුන් දියත් කර ඇති කැරැල්ලකටයි. සිය ජීවිත විනාශ කරන රජයේ ප්‍රතිපත්ති තුළින් නිර්මාණය කරන ලද තත්ත්වයන් විසින් ලබාදෙන මන්දගාමී දිගුකාලීන මරණය වෙනුවට සටනේදී ලැබෙන ක්ෂණික මරණයක් තෝරාගැනීමට බල කෙරී ඇති රොහින්ග්‍යාවරුන්ගේ අරගලය “ත්‍රස්තවාදය“ ලෙස හැඳින්වීම පිළිගත හැකි දෙයක් නොවේ. ඊනියා “(මුස්ලිම්) ත්‍රස්තයට එරෙහි ගෝලීය යුද්ධය“ මෙහෙයවන ඇමෙරිකා එක්සත් ජනපදය පවා  බුරුම හමුදාව නිරත වී ඇත්තේ “රොහින්ග්‍යා ත්‍රස්තවාදය" හමුවේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීමේ උත්සාහයක යැයි කියන බුරුම රජයේ නිල කතාව භාරගෙන නැහැ.
ඇලිස් කවුලි එක්ක සම කර්තෘත්වයෙන් ඔබ ලියා පළ කළ නිබන්ධනයේ ඔබ නිගමනය කරන්නේ "රොහින්ග්‍යා ජනයා සෙමින් දැවී යන වර්ග සංහාරයකට භාජනය කර ඇති" බවයි. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාදාමයන් වර්ග සංහාරයන් විදියට හැඳින්වීම ගැන ගෝලීය බලවතුන් හා ආයතන ඒ තරම් සතුටක් දක්වන්නේ නැහැ. ඔවුන් වඩාත් කැමති ඔවුන් විසින් තෝරා බේරාගත් තැන්වලට පමණක් මේ 'වර්ග සංහාර' යෙදුම යොදාගැනීමටයි. උදාහරණයක් විදියට රඛයින් ප්‍රාන්ත උපදේශන කොමිසමේ නායකත්වය දැරූ කොෆි අනන් පසුගිය අවුරුද්දේ ප්‍රකාශ කළේ "මියන්මාරයේ රොහින්ග්‍යා සුළුතරයට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ග සංහාරයකැයි කියන්නට තමන්"ට නොහැකි බවයි. ඔබේ ස්ථාවරය ඔබ ආරක්‍ෂා කරන්නේ කොහොමද?
සාර්නි: 1994 දී සිදු වුන රුවන්ඩා ජනසංහාරය සම්බන්ධව නිෂ්ක්‍රීයව සිටීම සැළකිල්ලට ගත්තාම, කොෆි අනන් තමයි වර්ග සංහාරයක් මොකක්ද කියලා තීරණය කරන්න අඩුම සුදුසු කම් සහිත පුද්ගලයා කියලා කියන්න පුළුවවන්. නිව්යෝර්ක් නුවර පදනම් කොටගත් එක්සත් ජාතීන්ගේ සාම හමුදා ක්‍රියාන්විතයන්ගේ ප්‍රධානියා හැටියට රුවන්ඩාවේ එක්සත් ජාතීන්ගේ හමුදාවන් විසින් ඔහුට එවන ලද “වර්ග සංහාරය පිළිබඳ විදුලි පණිවිඩ“ ඔහු විසින් දුෂ්ට සහ නින්දා සහගත ලෙස වසන් කළා. එක්සත් ජාතීන්ගේ බලවත්ම සාමාජිකයා වුණු ක්ලින්ටන් පාලනයට මේ නියත වර්ග සංහාරක ඝාතන නැවැත්වීමට කිසිම උවමනාවක් නැති බව ඔහු දැන සිටියා. ඒ අනුව ඔහු ඔහුගේ නිලතල රැකගැනීමට අට ලක්ෂයක් ටුට්සි සහ අනෙකුත් ජනයා ඝාතනය වීමට ඉඩහැරියා. බලගතු ආණ්ඩු සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එය ජනසංහාරයක් ලෙස නොපිළිගන්නා තත්ත්වයක් හමුවේ, පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද නියෝජිතවරිය වූත්, එකල ජනමාධ්‍යවේදිනියක සහ ශාස්ත්‍රවේදිනියක ලෙස කටයුතු කළාවූත් සමන්තා පවර් එක්සත් ජනපදය අතින් සිදු වූ නිශ්චිත හා බරපතල අතපසුවීම් ගැන දීර්ඝව ලේඛණගත කළ “Problem from Hell“ කෘතිය මගින් ප්‍රසිද්ධියට පත්වුණා. 
මගේ මිතුරෙකු සහ ජ්‍යෙෂ්ඨ සගයෙකු වන ග්‍රෙගරි ස්ටැන්ටන් විසින් මිථ්‍යාවක් කියලා හඳුන්වන "ජාත්‍යන්තර ප්‍රජාවටවත්", එක්සත් ජාතීන්ටවත්, 1915 ආර්මේනියානු ක්‍රිස්තියානිවරුන්ට එරෙහිව තුර්කිය සිදු කළ ජන වර්ග සංහාරයේ සිට මේ දක්වා වර්ග සංහාරයන් වළකාලීම හෝ නැවත්වීම පිළිබඳ හොඳ ඉතිහාසයක් නැහැ.   
ජාතික රාජ්‍යයන් විසින් සිදු කරන මහා පරිමාණ අපරාධ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි බලගතු සාමාජික රටවල්වලට අවශ්‍ය විදියට නම් කිරීමට මම එකඟ වෙන්නේ නැහැ.  ආරක්ෂක මණ්ඩලය සමන්විතව ඇත්තේ ලෝකයේ විශාලතම මරණයේ වෙළෙන්දන්ගෙන් මිසක් සාමය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්නවුන්ගෙන් නොවේ.
බලය, හැම වෙලාවෙම වංචනිකයි. එය ඇත්තත්, කරුණුත් දන්නවා. නමුත් එය විසින් ඇත්ත සහ කරුණු දකින්නේ තමන්ගේ අවශ්‍යතාවන් මත පදනම්වයි. අපේ ග්‍රහලෝකය මත සමස්ත මනුෂ්‍ය සංහතියේ ස්වාමිවරුන් බවට පත්ව සිටින මෙම බලගතු සංස්ථාවන්ගෙන් කිසිවිටෙක ඇත්ත අපේක්ෂා කළ නොහැකියි.
මිහිතලය මත අසරණභාවයට පත්වූවන් පිළිබඳ සළකන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය  සහ ආණ්ඩු සම්පූර්ණයෙන්ම අසාර්ථකව ඇති බව කිව හැකියි. ජීවිත ආරක්ෂා කිරීම සහ මහා පරිමාණ සැහැසි ක්‍රියා නැවැත්වීම උපායමාර්ගිකව වාසිදායක දෙයක් ලෙස කවදාවත් ඔවුන් දැක නැහැ.
ඔවුන් බලගතු බවට සැකයක් නැහැ. නමුත් සත්‍යය පිළිබඳ බේරුම්කාරයන් ලෙස පෙනීසිටීමේ ක්‍රීඩාව දිගටම සිදු කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතු නැහැ.
මාවුන්ග් සාර්නි සහ අවුන්ග් සාන් සූ චී ලන්ඩන් නගරයේ රැස්වීම් සභාවක් අමතමින් - 2012 ජූනි

රොහින්ග්‍යා ජනයාගේ ඛේදනීය ඉරණම ගැන අවුන්ග් සාන් සු චීගේ නිහඬතාව සම්බන්ධයෙන් ඇතැමුන් විස්මය පළකරන අතරේම තවත් සමහරුන් ඇයට විරුද්ධව තියෙන අපරාධ හවුල්කාරීත්වය ගැන චෝදනාවලින් ඇය ගළවාගැනීමටකියා සිටින්නේ ඇයට තියෙන්නේ සීමිත බලයක් බවයි. සු චීගේ නිහඬතාව ගැන ඔබේ අදහස මොකක්ද?
සාර්නි: සූ චී නිහඬ නැහැ. 2015 දී අර්ධ බලතල ලැබීමට පෙර සහ පසුව ඇය රොහින්ග්‍යාවරුන්ට එරෙහි හිංසාවන් ගැන කතා කර තියෙනවා.  ඇය හොඳින් තහවුරු කරපු කුප්‍රසිද්ධ මුස්ලිම් විරෝධී ජාතිවාදිනියක්. එමෙන්ම බුරුමයේ සුළුතර ප්‍රජාවන්වන ශන් සහ කචින් ජනවර්ග කෙරෙහිත් ඇය දක්වන්නේ ආධිපත්‍යධාරී විජිතවාදී ආකල්පයක්. 
මැතිවරණ දේශපාලනයට සහ සමාජයට ඉහළින් සිටින මිලිටරිය පාලනය කිරීමට ඇයට නොහැකි බවත් ඇයට ඇත්තේ සීමා සහිත බලතල බවත් ඇත්තක්. නමුත් ඇය සිය සීමිත බලතල පවා යොදාගන්නේ රොහින්ග්‍යාවරුනට එරෙහි ජන සංහාරක අපරාධ යටපත් කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට සහ වසන් කිරීමටයි.  ජන වර්ග සංහාරයක්  සිදුවිය හැකි එකම විදිය හුදෙක් යම් වාර්ගික, ආගමික හෝ ජාතික ප්‍රජාවක්  සම්පූර්ණයෙන්ම හෝ එයින් කොටසක් හෝ ගෑස් කාමරවලට දමා සිය දහස් ගණනින් මරා දැමීම හෝ මැෂින් තුවක්කුවලින් වෙඩි තබා සමූල ඝාතනය කිරීම මගින්  පමණක් නොවේ. එය යම් ප්‍රජාවක්  එහි මුල්වලින් මුලිනුපුටා දමමින්, ප්‍රජාවේ සාමුහිකත්වය පිළිබඳ භෞතික හැඟීම, සාමූහික අනන්‍යතාව සහ ඉතිහාසය අහෝසි කිරීම අරමුණු කොට ගත් ක්‍රමානුකූල සහ දිගුකාලීන ප්‍රයත්නයක් හරහා සිදුවන  ක්‍රියාදාමයක්. සු චී සහ ඇගේ සිවිල් ආණ්ඩුව විසින් පාලනය කරන අමාත්‍යාංශ වන්නේ විදේශ කටයුතු, සමාජ සුබසාධනය, ප්‍රවෘත්තී, ආගමන සහ විගමන, සංස්කෘතික ආදියයි. මේ සියලු අමාත්‍යාංශ රොහින්ග්‍යාවරුන්ට එරෙහි  බැහැරකිරීම, කොන්කිරීම, වෙන්කරන ලද ප්‍රදේශ වලට යොමු කිරීම, නීතිමය පුරවැසි අයිතීන් අහිමි කිරීම ආදි අපරාධවලට සම්බන්ධයි. එමෙන් ඔවුන් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරමින් හමුදාවේ අපරාධවලට සුදුහුණු ගෑමත් මේවා මගින් සිදු කරනවා. ඇය නිර්දෝෂි වන්නේ ඇය පුද්ගලිකව තමා විසින් ම තුවක්කුවේ කොකා ගැස්සීම සිදු නොකිරීමට අදාළව පමණයි. නමුත් අනෙක් අතින් හිට්ලර් පවා එකම යුදෙව්වෙක්වත් ඔහු විසින්ම මරා දැම්මේ නැහැ.
ඔබ 'බෞද්ධ ත්‍රිකෝණය' කියා හඳුන්වන ශ්‍රී ලංකාව, මියන්මාරය හා තායිලන්තය යන රටවල් විසින් අන්‍ය ජන කොටස් සම්බන්ධයෙන් අනුගමනය කරන වෙනස් ලෙස සැළකීමේ පිළිවෙත් හා රාජ්‍ය අනුග්‍රාහක ජාතිවාදය මගින් පිළිබිඹු වන ව්‍යුහාත්මක සමානකම් ගැන ඔබ විසින් අවධාරණය කර තිබෙනවා. මේ රටවල් අතර ඔබ දකින සමාන්තරතා මොනවාද?
සාර්නි: ශාස්ත්‍රවේදීන් පවසන විදියට මේ රටවල දක්නට ලැබෙන වැදගත්ම පොදු ලක්ෂණය තමයි අනිවාරණීය වර්ගවාදී, යටත්විජිතවාදී සහ ඒකීය ස්වභාවය. මෙම රටවල ජාතික අනන්‍යතාවන්ගේ පදනම් ද්‍රෘෂ්ටිවාදය වන්නේ බුද්ධාගමයි. බලය හිමිව තියෙන්නේ කේන්ද්‍රයේ  සිටින ආධිපාත්‍යධාරී ජනවාර්ගික කණ්ඩායමටයි.  බල කේන්ද්‍රය අරක්ගෙන සිටින බෞද්ධ බහුතරයත්, බෞද්ධ නොවන, ආධිපති නොවන වාර්ගික කණ්ඩායම් අතරත් සම්බන්ධය හැමවිටම විජිතවාදී එකක්. ඒ නිසා මේ සියල්ල කොන්කරන ලද ප්‍රජාවන් මත ආධිපත්‍යය තහවුරු කිරීම,  ඔවුන් යටපත් කිරීම සහ පාලනය කිරීමේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත අරමුණු සහිත වර්ගතාන්ත්‍රික (Ethnocratic)රාජ්‍යයන්.    පීඩනය, මර්දනය සහ හිංසනය දියත් කිරීමේදී ඔවුන්ගේ සුවිශේෂිත උපායමාර්ග සහ තෝරාගත් මාර්ගයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් නමුත් සමස්තයක් ලෙස ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජාතිවාදි සහ විජිතවාදී රාමුවක් තුළයි. වර්ගවාදි, අභ්‍යන්තර විජිතවාදී  රාජ්‍යයයන්  අර්ධ හෝ පූර්ණ වශයෙන් නිලධාරිවාදී ජනසංහාරක මෘගයන් බවට ක්‍රමානුකූලව පත්වීම පිළිබඳව ඉතාම ආන්තික උදාහරණ මියන්මාරය සහ ශ්‍රී ලංකාවයි. 
ශ්‍රී ලංකාව සහ බුරුමය අතර තියෙන තවත් සමානකමක් තමයි, මේවායේ ප්‍රධාන ජාතික ප්‍රජාවන් නියෝජනය කරමින් අධිකාරවාදී සිංහල සහ බර්මානු රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාකළ විමතික බලවේග පසුව බහුතරවාදී අදූරදර්ශී ජාතිකවාදයන්ට යටත්වීමේ ප්‍රවණතාව. '80 ගණන්වල අගභාගයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව නැගී සිටි සිංහල ශිෂ්‍යයන් සහ අවවරප්‍රසාදිත තරුණයන් පසුකාලීනව ඊළම් දෙමළ ජනයාට එරෙහිව වර්ගවාදී සිංහල රාජ්‍යයේ හවුල්කරුවන් වීමේ උදාහරණය ඔබට තියෙනවා. අනෙක් අතින් අවුන් සාන් සු චීගේ පටන් 88 පරපුරේ ශිෂ්‍ය නායකයන් දක්වා කීර්තිමත් බුරුම විමතිකයන් ඔවුන්ගේ අතීත ජේලර්වරුන් හා වධකයන් වූ හමුදා නිලධාරීන් එක්ක හවුලේ රොහින්ග්‍යා මුස්ලිම් ජනයා හිංසනයට පාත්‍ර කිරීමේ උදාහරණය අපට තියෙනවා. මෙය ඉතාමත්ම ගැටළුකාරීයි. මේකෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේත්, බුරුමයේත් බහුතර වාර්ගික ජාතිකවාදයන් කොයිතරම් පිළිකාවන් වී ඇතිද යන්නයි.
මෙම රටවල ඊනියා බෞද්ධයන්, බෞද්ධ ජාතිකවාදය කියන පිළිකාවට තමන් විසින්ම ගොදුරු වී තියෙනවා. එය බුද්ධ දර්ශනයට මුළුමණින්ම පටහැනි දෙයක්. දාර්ශනික බුදු දහම තුළ  “ සාරාත්මකරණය සහ යථාව“, “ මම හෝ ඔබ“ යනාදියට මෙන්ම “මගේ රට“ , “මගේ රාජ්‍යය“, “මගේ ආණ්ඩුව“ යන  දේවලට ඉඩක් නැහැ. තමන්ගේ දර්ශනය විනාශ කරනු ඇත්තේ තම අනුගාමිකයන් විසින්ම බවට ගෞතම බුදුන් අනාවැකි පළකර තියෙනවා. මම හිතනවා උන්වහන්සේ  නිවැරදියි. මේ ථෙරවාදී බෞද්ධ රටවල් තමන්ගේ සියළු පාපයන්ට හේතුව සුළුතර ජාතීන් ලෙස දකිමින් ඔවුන් වහල්භාවයට පත් කිරීමට, යටත් කිරීමට නැතහොත් ඔවුන් විනාශ කර දැමීමට යාමෙන් තමන් විසින්ම විනාශයට පත්වෙනවා. ඔවුන් ඊලාම් දෙමළ හෝ මැලේ සම්භවයක් සහිත දකුණු තායි වැසියන් හෝ මියන්මාරයේ රොහිංග්යාවරුන් වෙන්න පුළුවන්. නමුත් සිදුවන්නේ එකම දෙයයි.
ඔබ, මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව අඛණ්ඩව සහ දිගුකාලීනව කැපව ක්‍රියාකළ අයෙක් වශයෙන් ප්‍රකටයි. ඒ අතරේම ඔබ රොහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහි අපරාධයන්ට එරෙහිවත් තිරසාර ලෙස හඬ නගන අයෙක්. නමුත් අතීතයේදී හමුදා පාලනයට එරෙහිව විරෝධය දැක් වූ ඔබේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් පවතින තත්ත්වය එක්ක සම්මුතිගත වූ බවක් පෙනෙන්නට තියෙනවා. ඔවුන්ට වෙනස්ව යමින් අඛණ්ඩව විරෝධය දැක්වීමට ඔබ තීරණය කළේ ඇයි?
සාර්නි: මම සෑම විටෙකම හමුදාවට විරුද්ධව සිටියේ නැහැ. ක්‍රියාධරයෙක් වශයෙන් ගතකළ මගේ ජීවිතයේ එක්තරා කෙටි කාලපරිච්ඡේදයක් තුළ - එනම් 2004 සිට 2008 දක්වා කාලයේ දී - නිවැරදි දේ අනුගමනය කර අපේ රට මෙම ස්වයං විනාශයේ මාවතෙන් ගලවා ගත හැකි ඇතැම් යහපත් දේශප්‍රේමී ජෙනරාල්වරුන් සිටින බවට මම මගේම මායාවකට ගොදුරු වෙමින් විශ්වාස කළා.  යම් යම් ජෙනරාල්වරුන් සමග වැඩ කරන්න මෙම කාලසීමාවේ දී මම උත්සාහ කළා. මගේ ආත්ම ගෞරවය පරදුවට තබමින් මම ජනතාවට යහපතක් සැළසීමට නම් ජෙනරාල්වරුන් සමග කතාකළ යුතු බව හා ඔවුන් සමග වැඩ කළ යුතුය කියන මතය  බුරුමය සහ ලෝකය හමුවේ ප්‍රකාශ කළා. සූ චී සහ බටහිර දැන් අනුගමනය කරන්නේ මෙම පිළිවෙතයි.  උසස් හමුදා නිලධාරින් සමග සමීප ව වැඩ කිරීමෙන් පසුව මා වැරදි බව මම වටහාගත්තා. ආයතනයක් ලෙස සමස්ත මිලිටරියම, එහි  මතවාදය සහ සමාගම්වාදී නැඹුරුව තමයි මෙම ප්‍රශ්නයේ කේන්ද්‍රය. මිලිටරිය සහ රජය අද එකිනෙක සම්පාත වෙලා තියෙන්නේ. ඒ දෙකම මේ වර්ගවාදී, යටත්විජිතවාදී ආර්ථිකමය වශයෙන් කොල්ලකාරී අවකාශය තුළ කොටු වී තිබෙනවා. මම මගේ අවසන් නිගමනයට පැමිණියේ  2008 දී මිලිටරිය විසින් මියන්මාර් සුළි සුළ‍‍‍ඟින් විපතට පත්  පහළ බුරුමයේ  මිලියන දෙකක් පමණ වූ ජනයාට සහනාධාර සැපයීම පවා අවහිර කළ පසුයි. අපට ඇත්තේ ප්‍රතිසංස්කරණවලින් නිවැරදි කළ නොහැකි තත්ත්වයක් සහ ආයතනයක්.
දිගුකාලයක් මුළුල්ලේ බාහිර ලෝකයට විවෘතව සිටීමේ විශාල වරප්‍රසාදය මට හිමිව තිබෙනවා. මෙම වරප්‍රසාදය මම අඩු තරමින් මගේ රටේ පීඩිත කොටස්වල පැත්තේ සිට මෙන්ම  ඊලාම් දෙමළ ජනතාව වැනි අනෙකුත් පීඩිත ජනකොටස් වෙනුවෙන්  සටන් කිරීමට භාවිතා කරන්නට හැකි යැයි මම විශ්වාස කරනවා.☐

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.